Pages

කොළඹ සිට පහසුවෙන් ලගවියහැකි වනජීවී කේන්ද්‍රස්ථාන කිහිපයක්



Wildlife Photography - Sri Lanka  සමුහය විසින් වනජීවී  ඡායාරූපකරණය සදහා ඇලුම්කරන ඔබ වෙත ගෙන ලිපි මාලාවේ  දෙවැන්න ලෙස කොළඹ අවට ඇති පහසුවෙන් ලගාවියහැකි  Wildlife Hotpot කිහිපයක් හදුන්වාදිමට අපි අදහස් කරනවා.

1. තලංගම වැව ආශ්‍රිත තෙත් බිම් කලාපය

තලංගම වැව සහ ඒ අවට තෙත්බිම් කලාපය කොළඹ දේශීය මෙන්ම විදේශීය සොබාදම් සංචාරකයන් සහ ඡායාරුපශිල්පින් අතර කලක සිට ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා. එයට ප්‍රදානම හේතුව වී ඇත්තේ එහි සිටින කුරුළු ගහනයි. සංචාරක කුරුල්ලන් පැමිණෙන කාලයේදී මෙහිදී එවැනි කුරුල්ලන්ද දැකබලාගැනීමට අවස්ථාව සැලසෙනවා. එමෙන්ම මෙහිදී මීමින්නන්, දියබල්ලන්, ඉත්තෑවන් වැනි  කුඩා ක්ෂීරපායි විශේෂද හමුවන අවස්ථා තිබේ. මෙය Common Kingfishers චායාරූපයට හසුකරගැනීමට කදිම ස්ථානයක් ලෙස හදුන්වාදීමට හැක. තවද දුර්ලබ සංචාරක කුරුල්ලන් වන Cinnamon Bittern, Glossy Ibis වැනි කුරුළු විශේෂද මෙහි වාර්තාවේ. අවාසනාවකට සංවර්ධන කටයුතු නිසා මෙම ප්‍රදේශය මේ දින වල බෙහෙවින් වෙනස් කම් වලට බදුන් වෙමින් පවතී .

පැලවත්ත හන්දියෙන් හැරී D P විජේසිංහ මාවත ඔස්සේ 1.5Km පමණ පැමිණ වැව පාරට හරවා ඒ ඔස්සේ 1Km පමණ යාමෙන් තලංගම වැව කරා ලගාවිය හැක .

2. තලවතුගොඩ  ජෛව විවිදත්ව අද්‍යාපන කේන්ද්‍රය සහ අවට  තෙත් බිම

තලවතුගොඩ සහ කිඹුලාවල ආශ්‍රිතව පිහිටා ඇති මෙම තෙත්බිම් කලාපයද ජලෂිත පක්ෂීන් බහුලව ගැවසෙන ප්‍රදේශයකි. පවතින සංචාරක කුරුල්ලන් පැමිනෙණ කාලය තුල මේ ප්‍රදේශයෙන් Comb Duck සහ Glossy Ibis යන කුරුළු විශේෂ වාර්තාවීම විශේෂත්වයකි. තලංගම ආශ්‍රිත කලාපයේ සිදුවන සංවර්ධන කටයුතු නිසා කුරුල්ලන් මෙම ප්‍රදේශයට පැමිණෙනවා වියහැක. මිනිසුන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් නිසා මෙහි සිටින පක්ෂීන් කුලෑටි බැවින් අඩු වීම වනජීවී ඡායාරූපශිල්පීන්ට වාසිදායක වේ .

තලවතුගොඩ දෙසින් හෝ ජපන් මිත්‍රත්ව පාර දෙසින් මෙම ප්‍රදේශයට ලගාවිය හැක .


3. බැද්දගාන තෙත්බිම් උද්‍යානය

පක්ෂීන් නරබන්නන් අතර සංචාරක පක්ෂීන් සදහා කොළඹ අවට ඇති ජනප්‍රිය ස්ථානයක් ලෙස මෙය හැදින්විය හැක. මෑතකදී මෙම ප්‍රදේශය උද්‍යානයක් ලෙස සංවර්ධනය කර පක්ෂි නරබන්නන් සදහා පහසුකම් සලසා දී තිබේ. රංචු වශයෙන් ගැවසෙන Plovers, Teals වැනි පක්ෂි විශේෂ මෙහිදී දැකබලාගැනීමට ලැබේ. Field Ornithological Group of Sri Lanka විසින් මෑතකදී කරන ලද සංචාරයකදී Rose Starling ඇතුළු මෙම ප්‍රදේශයේ සුලබ නොවන සංචාරක පක්ෂි විශේෂ කිහිපියක්ම මෙම උද්‍යානයෙන් වාර්තා කර තිබේ.

ඇතුල්කෝට්ටේ දෙසින් හෝ පිටකෝට්ටේ දෙසින් කෝට්ටේ පාරේ පැමිණ බැද්දගාන හන්දියෙන් බැද්දගාන පාරට හැරවීමෙන් හෝ ඇතුල්කෝට්ටේ දෙසින් ශ්‍රී ලංකා නිපොන් පාරේ පැමිණ බැද්දගාන තෙත්බිම් උද්‍යානය කරා ලගාවිය හැක .

4. බෙල්ලන්විල - අත්තිඩිය තෙත්බිම් කලාපය

කොළඹ දිස්තික්කයේ පිහිටි ප්‍රදානම තෙත්බිම ලෙස බෙල්ලන්විල - අත්තිඩිය තෙත්බිම හදුන්වාදිය හැක. අතීතයේ බොහෝ සංචාරක පක්ෂීන් පැමිණි ස්ථානයක් ලෙස මෙය ප්‍රසිද්දව පැවතුනි. මෑතකදී කරන ලද සංවර්ධන කටයුතු නිසා මෙහි ගැවසෙන කුරුල්ලන්ගේ ප්‍රමාණය අඩු උවද තවමත් මෙම ප්‍රදේශයෙන් සැලකියයුතු පක්ෂි විශේෂ ප්‍රමාණයක් වාර්තාවේ . කුරුල්ලන් නැරබීම සදහා කොලින් රෙෆිනේරි මාවතෙන් පැමිණ  මැටි වලවල් පිහිටි ප්‍රදේශයෙන් හෝ මාලනී බුලත්හිංහල මාවතෙන් පැමිණ නැදිමාල ඇළ මාර්ගය අවට ප්‍රදේශයෙන්  හෝ තෙත්බිම් කලාපයට ඇතුළුවිය හැක.  මාලනී බුලත්සිංහල මාවතේ නැදිමාල ඇළ මාර්ගය අසල වනජීවී කාර්යාලය පිහිටා තිබේ.

5. මුතුරාජවෙල

අතීතයේ විශාල වෙල් යායක්ව පැවති මුතුරාජවෙල ප්‍රදේශය පසුකාලීනව අතහැරදමිම නිසා ඒ  ආශ්‍රිතව ඇතිවූ තෙත්බිම පාරිසරික සංවේදී කලාපයක් ලෙස නම්කර තිබේ. එහි උනහපුලුවා මෙන්ම පක්ෂි විශේෂ 102ක් වර්තවනබව සාදාගන් වේ.  මුතුරාජවෙල මැදින් දිවයන හැමිල්ටන් ඇළ මාර්ගය ඔස්සේ කුරුල්ලන් නරබිමේ සංචාරක සේවාවක් මුතුරජවෙල සංචාරක කේන්ද්‍රය මගින් පවත්වාගෙන යි. මෙය ප්‍රදේශය අවට පරිසරයට ඇලුම්කරන තරුණයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලැබේ . හැමිල්ටන් ඇළ මාර්ගය ඔස්සේ ගමන්කරන සංචාරක බෝට්ටු හැමිල්ටන් ඇළ ආශ්‍රිතව මෙන්ම මීගමුව කලපුව ආශිතව පක්ෂි නැරබුම් අවස්ථාව උදාකරදී තිබේ. මෙහිදී ඇති දුර්ලබ Black-cap Kingfisher වාර්තාවී තිබීම විශේෂත්වයකි.

මුතුරාජවෙල සංචාරක කේන්ද්‍රයට ලගාවිමේ මාර්ගය https://goo.gl/maps/8C3o6JkwzuL2
දුරකථන 011 4 030150

6. ඉංගිරිය වන රක්ෂිතය /බෝධිනගල

ඉහත සදහන්කල සියලුම ස්ථාන වල ප්‍රධාන ආකර්ෂණය හිමිවන්නේ ජලාශ්‍රිත පක්ෂි විශේෂ සදහාය, රට තුලට වන්නට කළු ගඟට මාඉම්ව පිහිටි වනාන්තරයක් වන ඉංගිරිය වන රක්ෂිතය බොහෝ එකදේශීය කුරුළු විශේෂ නැරබීමට මෙන්ම වනය ආශ්‍රිතව ජීවත්වන දේශීය මෙන්ම සංචාරක කුරුළු විශේෂ නැරබීමටද තෝතැන්නකි. සිංහරාජයට සමාන වනාන්තර වියුහයක් සහිත මෙම වනාන්තරයේ කුරුල්ලන්ට අමතරව අනෙකුත් සත්ව විශේෂද දක්නට ලැබේ. Macro ඡායාරූපකරනයටද මෙහිදී හොද අවස්ථාවක් ඇත. වනාන්තරයට පිවිසීමට ඇත්තේ බෝධිනගල අරණ්‍ය සේනාසනය තුලින් බැවින් එයට සරිලන ලෙස පැමිණීමට වගබලාගත යුතුය. මෙවැනි වනාන්තරයක පවතින අඩු ආලෝක තත්වයන්ට ගැලපෙන ඡායාරූප උපකරණ රැගෙන යාම යෝග්‍ය වේ.

https://goo.gl/maps/NpeG5hGqycK2


මීට අමතරව නාවල වැලි පාර්ක් පිහිටි ප්‍රදේශයේ ඇති නාගරික තෙත් උද්‍යානය (https://goo.gl/maps/XU84KkwqAJn) සහ මොටටුව ප්‍රදේශයේ පිහිටි ලුනාව කලපුව ද වනජීවී ඡායාරූපකරණය සදහා යෝග්‍ය ප්‍රදේශ ලෙස සැලකේ. මෑතකදී ඉදිකළ සීතාවක තෙත්කලාපිය උද්බිත උද්‍යානයද (https://goo.gl/maps/dDgc9GdA6rq) කුරුල්ලන් නැරබීම සහ ඡායාරූපකරණයට ඉතාමත් සුදුසු ස්ථානයක් ලෙස නම්කළ හැක.

මීට අමතරව ඔබ දන්නා මෙවැනි වනජීවී ඡායාරූපකරණයට සුදුසු අනෙකුත් ස්ථාන ඇත්නම් ඒවාද අප සමග බෙදාහදාගන්නා මෙන් ඇරයුම් කරමු.

- ධනුෂ්ක සේනාධීර