Pages

වනජීවි ඡායාරූපකරණයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම

Wildlife photography – sri lanka සමූහය විසින් වනජීවී ඡායාරූපකරණයට ඇළුම් කරන ඔබ වෙනුවෙන් පළ කරණු ලබන ලිපි මාලාවේ සිව් වැන්න.

වනජීවි ඡායාරූපකරණයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම


වනජීවි ඡායාරූපකරණයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම මේයැයි ලියැවුනු නීති රීති කිසිවක් නැතත්, අනෙකුත් ජීවීන්ගේද නිදහසේ ජීවත් වීමේ හා නිදහසේ ඔවුන්ගේ එදිනෙදා ජීවන රටාවන් පවත්වා ගෙන යාමට ඇති අයිතිය සළකා බලා, වනජීවි ඡායාරූප ශිල්පීන් වන අප විසින්ම ගොඩනඟා ගත් ආචාර ධර්ම පද්ධතියක් අප අතර තිබිය යුතුය. කාලාන්තරයක් තිස්සේ විනෝදාංශයක් ලෙසද, පර්යේෂණවල යෙදෙන්නන්ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන්ද, වෘත්තියක් ලෙසද මෙකී කාර්‍යයෙහි යෙදුන හා යෙදෙන, සුවහසක් වනජීවි ඡායාරූප ශිල්පීන් විසින් අනුගමනය කරනු ලබන ආචාර ධර්ම පද්ධතීන්ගෙන් උපුටා ගත් කොටස් සමඟ අප ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන් හටද ගැළපෙන පරිදි සංශෝධනය කරගත් කරුණු කිහිපයක් කෙටියෙන් සාකච්ඡාවට බඳුන් කිරීමට සිතුවෙමි.

1.පළමු කොටම අප වනෝද්‍යානයක හෝ අභයභූමියක සංචාරය කරනවිට, ඒ ඒ උද්‍යාන වල පාලනාධිකාරිය විසින් පණවනු ලබන නීති රීති වලට අවනත විය යුතුය. මන්ද යත් එකී නීති රීති පනවා ඇත්තේ, වන සතුන්ගේත්, ඔවුන් ජීවත් වෙන ස්වාභාවික වාසස්ථාන වලත්, ආරක්ෂාව හා සුබ සාධනය මෙන්ම එහි ගමන් කරන ඔබගේත් ආරක්ෂාව උදෙසා වන බැවිනි.
උදාහරණ ලෙස බොහෝ වනෝද්‍යාන තුළ වාහන වලින් බැසීමට හෝ පයින් ගමන් කිරීමට ඉඩ නොදේ. තවද අධික වේගයෙන් රිය පැදවීම, වාහනයෙන් බැහැරට යම් යම් දේ විසි කිරීම, මාර්ගයෙන් බැහැරව රිය පැදවීම, කෑ කෝ ගැසීම ආදිය ශ්‍රී ලංකාවේ බොහෝ වනෝද්‍යාන වල තහනම්ය.

2.සෑමවිටම ඔබත් වනජීවීනුත් අතර නියමිත පරතරය තබාගත යුතුය. නියමිත පරතරය යනු කුමක්ද? ඔබ යම් ජීවියකුට ළං වන විට ඔහු කරමින් සිටි කාර්‍යය (උදා: විවේක ගැනීම, ආහාර ගැනීම, පැටවුන්ට අහාර කැවීම, සංසර්ගයේ යෙදීම ආදිය) නතර කලේනම් හෝ පලායාමට තැත් කරයි නම්, ඔබ එකී සත්වයාගේ අරක්ෂිත දුර ඉක්මවා ඇත.
තවද ඇතැම් අනතුරුදායක සතුන් හා අතර සෑහෙන දුරක් පවත්වා ගැනීම ඔබේ ආරක්ෂාවට යහපත් වේ. (උදා: අලි, කුළුමීමා, කොටියා හා සර්පයින්....)

3.තවද සෑම විටම තමන් විසින් ඡායාරූපයට ගනු ලබන සතුන්ගේ ජීවන චර්‍යාව හා හැසිරීම් රටාවන් ගැන ඔබ හොඳින් දැනුවත් විය යුතුය. උදා ලෙස සතුන් එළිමහනේ සැරිසරන වේලාවන්, ආහාර සොයා යන වේලාවන් ආදිය මෙන්ම ඒ මොහොතේ සතෙකුගේ හැසිරීම සැළකිල්ලට ගෙන ඊළඟට එම සතා කුමක් කරයිද යන්න අනුමාන කිරීමට තරම් දැනුමක් ඔබ සතු විය යුතුය. එමඟින් එම සතාටද බාධා නොවී ඊළඟට ගනු ලබන ඡායාරූපය සැලසුම් කර ගත හැක. තවද නිකරුණේ කාලය නාස්ති වීම වළක්වා ගත හැක.

4.තමන්ට අවශ්‍ය ඡායාරූපය ලබා ගැනීම සඳහා කිසි විටෙකත් සතුන්ට හිරිහැර නොකළ යුතුය. නිදසුන් ලෙස පියඹා යන හෝ දිව යන සතෙකුගේ ඡායාරූපයක් ගැනීමට සතුන් බියගන්වා එළවීම. මතක තබා ගත යුතු වඩාත්ම වැදගත් ම දෙය වන්නේ, සතා තමන්ට අවශ්‍ය ඉරියව්වට එන තෙක් ඉවසා සිටීමයි. එමඟින් හොඳම ස්වාභාවික ඡායාරූපයක් ඔබට ලැබෙනු ඇති.

5.සතෙකුගේ ආරක්ෂිත දුරට මෙපිටින් සිට ඡායාරූප ගැනීම සඳහා ප්‍රමාණවත් තරමේ කාච (lens) ඔබ සතු විය යුතුය. උදා: 200,300,400,500,600mm වැනි සහ converters 1.4, 1.7 හෝ 2 නමුත් මෙවැනි දිගුදුර කාච නොමැතිව වනජීවී ඡායාරූප කරණයේ යෙදිය නොහැකි යැයි ඉන් අදහස් නොකෙරේ. පුළුල් කෝණ (wide angle) සහ කෙටිදුර කාච වලින් ගත්, ඉතා උසස් වනජීවි ඡායාරූප ඕනෑ තරම් තිබේ.

6.සතුන් නරඹන අන් අයගේ හා ඡායාරූප ගන්නා සහෝදර ශිල්පීන්ගේ අයිතිවාසිකම් ගැනද සැළකිලිමත් වීම ඉතා අගනේය. උදා ලෙස තවත් කෙනෙක් ඉතා සීරුවෙන් ඡායාරූප ගන්නා ස්ථානයකට අධික වේගයෙන් යාම, ශබ්ද නගා කථා කිරීම, අනවශ්‍ය ලෙස සතාට ළං වීමට යාම ආදී ක්‍රියා මඟින් සතා පළා යාම හෝ පළමු ඡායාරූප ශිල්පියා ඉවසීමෙන් උදාකරගත් අවස්තාව හෝ සතෙකුගේ ඉරියව්ව වෙනස් වීම සිදුවිය හැක.

7.සතුන් ළගින තැන්, කූඩු හා පැටවුන් වාසය කරන තැන්, ආහාර ගන්නා ස්ථාන වලට අනවශ්‍ය පරිදි ළං නොවිය යුතු අතර ඡායාරූප ගැනීම අත්‍යාවශ්‍ය නම් සැළකිය යුතු තරමේ නාභි දුරක් සහිත කාචයක් භාවිතා කොට දුරින් සිට ඡායාරූප ගත යුතුය. තවද සතුන්ගේ අවධානය යොමු නොවන අන්දමට සුදුසු සැඟවෙන ස්ථානයක් (hide) භාවිතා කළ යුතුය.

8.සැනෙළි (flash lights) හෝ කෘත්‍රිම ආලෝකය භාවිතයේදී බෙහෙවින් සැළකිලිමත් විය යුතුය. බොහෝමයක් සතුන්ගේ ඇස්වලට, විශේෂයෙන් රාත්‍රී සරන සතුන්ගේ ඇස් අලෝකයට බෙහෙවින් ම සංවේදීය. ඇස් අන්ධවීමට පවා ඉඩ තිබේ. එබැවින් හැකි සෑම විටම අති තීව්‍ර සැනෙළි භාවිතයෙන් වැළකිය යුතුය.

9. දීප්තිමත් තීව්‍ර වර්ණ ඇඳුම් භාවිතය නුසුදුසුය. පරිසරය හා ගැළපෙන කොළ, නිල්, අළු සහ කළු පැහැයට හුරු වර්ණ ඇඳුම් සුදුසුයි.

10. දුර්ලභ සත්ව විශේෂ හෝ ඔවුන්ගේ දුර්ලභ චර්‍යාවන් කිසිවක් දුටුවිට තම සහෝදර ශිල්පීන්ටද දැනුම් දීම දැන් දැන් බොහෝ දෙනෙකුගේ සිරිතකි. එය එක් අතකින් යහපත් ක්‍රියාවක් වුවත්, එය ප්‍රසිද්ධ කිරීමෙන් පසු බොහෝ දෙනෙක් එකවර එම ස්ථානයට යන්නට එන්නට පටන් ගත් පසු, එය සතාගේ ජිවන චර්‍යාවන් කෙරේ කෙසේ බළපානු ඇද්ද යන්න සැළකිල්ලට භාජනය කිරීම වටී. එපමණක් නොව එම පරිසරයටද හානියක් වීමට ඉඩ තිබේ.

11. ඡායාරූප ගැනීම සඳහා පුද්ගලික පරිශ්‍රයකට ඇතුළු වන්නේනම් නිසි පරිදි පෙරාතුව දැනුම් දී අවසර ලබා ගත යුතුය.

12. සතුන්ට ආහාර දීමෙන් වළකින්න. එමඟින් ඔබ එම සත්වයාට පමණක් නොව එම සතාගේ පරම්පරාවටම කරන්නේ බලවත් අසාධාරණයකි. මන්ද එමඟින් ඔවුන්ගේ ස්වාභාවික අහාර සොයා ගැනීමේ හැකියාව මොට වන අතර අස්වාභාවික ආහාර රටාවන්ට හුරු වේ.

මෙපමණක් නොවේ. තවත් බොහෝ ආචාර ධර්ම තිබේ. සෑම වනජීවි ඡායාරූප ශිල්පියකුටම අනන්‍ය වූ ආචාර ධර්ම තිබිය හැක. පොත්වල ලියා නීති පනවා නැති වුනත් සෑම වනජීවි ඡායාරූප ශිල්පියෙක්ම එක් සිද්ධාන්තයක් මත පදනම් වී, තම තමන්ටම ස්වයං වාරණයන් පණවා ගත යුතුය. එම සිද්ධාන්තය නම් “පරිසරයේ පැවැත්ම හා සතුන්ගේ ජීවත් වීමේ හා පැවැත්මේ අයිතිය හැමවිටම ඡායාරූපයක වටිනාකමට වඩා ඉහළින් පවතින බව” ය. මෙවැනි ආචාර ධර්ම පිළිපැදීම මගින් වන ජීවීන්ගේ නිදහසට බාධා නොවන පරිදි ඔවුන්ගේ ස්වාභාවික ජීවන රටා ඡායාරූපයට නැඟීමට මහඟු අවස්තාවක් ඔබට උදාවනු ඇත.

ඔබ පරිසරයට ආදරය කරන තරමට, ගරු කරන තරමට, වඩාත් හොඳ ඡායාරූප අවස්ථා සොබා දහම මඟින් ඔබට වැඩි වැඩියෙන් තිළිණ කරනු ඇත.

Wasiri Rasu Gajaman